Facebook මහා නිකුතුවෙන් පසු අභියෝග වැලක්

Posted 1:57 AM by Sri lanka Gossip Alert in Labels:

ලොව වටා ග්‍රාහකයින් මිලියන 900 ක් පමණ සිටින Facebook වෙබ් අඩවිය ලොව විශාලතම අන්තර්ජාල කොටස් නිකුතුව කරමින් ඩොලර් බිලියන 16 ක මුදලක් රැස්කර ගෙන තිබෙන අතර කොටස් අද දිනයේදී ගනුදෙනු වීමට නියමිතය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙහිදී ඩොලර් 38 ක් වන කොටස් මිලියන 421.2 ක් නිකුත් කෙරුණු බවත් මේවා උණු කැවුම් මෙන් විකුණුනු බවයි.

කොටසක් ඩොලර් 38 ක් ලෙස මිල කිරීමත් සමග Facebook වෙබ් අඩවියේ සමස්ත වටිනාකම ඩොලර් බිලියන 104.1 ක්වී ඇතැයිද එම ගණනය කිරීමට අනුව ලෝකයේ 40 වැනියට වටිනාම සමාගම මෙය බවද සඳහන්ය.

මේ අනුව, Facebook සමාගම Amazon.com හා Qualcomm යන සමාගම් වලට වඩා වටිනා අතර පෙප්සි කෝලා සමාගමට වඩා පහළින් තිබෙන බව මෙම වාර්තා අනාවරණය කරයි.

Facebook සමාගමේ නිර්මාතෘ තවමත් 28 හැවිරිදි මාර්ක් සකර්බර්ග් සතුව සමාගමේ සතු කොටස්වල වටිනාකම ඩොලර් බිලියන 19.1 ක් බවත් වාර්තා වේ.

මිලියන 900 ග්‍රාහකයින් තුළින් Facebook සමාගම ගිය වසරේදී ඩොලර් බිලියනයක ලාභ වාර්තා කර තිබෙන අතර ඉදිරියේදී කොටස්කරුවන්ගේ අපේක්ෂා මුදුන් පත් කරවීමට ලාභ වැඩිකර ගැනීමේ අභියෝගය සමාගම ඉදිරියේ තිබෙන බව විශ්ලේෂකයෝ පවසති.

සමාගමේ ආදායම ඉදිරියේදී දස ගුණයකින් වැඩිකර ගත යුතුව ඇති බවත් එයට අනුව වාර්ෂික ආදායම ඩොලර් බිලියන 30-40 ක් පමණ විය යුතු බවත් ඔවුන්ගේ අදහසයි.

අන්තර් ජාල වෙළඳ දැන්වීම් මගින් ආදායම් රැස්කර ගැනීමට ඉදිරියේදී විශාල අවස්ථාවක් තිබෙන බව හෙළිවන අතර මේ වනවිට ලෝකයේ වෙළඳ දැන්වීම් වලින් අන්තර් ජාල වෙළඳ දැන්වීම් කොටස සියයට 20 ක් පමණ වනබව සඳහන්ය.



0 comment(s) to... “Facebook මහා නිකුතුවෙන් පසු අභියෝග වැලක්”

0 comments: