දවලූත් වලේ වැටෙන්නට රනිල්ගෙන් ෆොන්සේකාට ඇරයුමක්

නිදහස ලැබීමෙන් පසුව ඒකාබද්ද විපක්‍ෂය සමඟ එක්වන ලෙස විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සරත් ෆොන්සේකා මහතාට ඇරයුම් කොට ඇතැයි වාර්තා වේ.

ඇරයුම සම්බන්ධයෙන් ෆොන්සේකා මහතාගේ පාර්ශ්වයෙන් කිසිදු ප‍්‍රතිචාරයක් මෙතක් දක්වා නොමැත.

විශ්‍රාම යෑමෙන් අනතුරුව තම ආරක්ෂාවට අනුයුක්ත නොකළ යුද හමුදා සෙබළුන් 12 දෙනකු ට රැකවරණය දී ඔවුන් රාජපාක්ෂිකභාවයෙන් ඉවත්කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන නඩුවේ පළමු විත්තිකරුවූ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා රුපියල් දස ලක්ෂයක මුදල් හා රුපියල් විසිපන්ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා ඊයේ(18) නියෝග කෙළේය.

ඇප නියම කිරීමෙන් අනතුරුව සරත් ෆොන්සේකා මහතාගේ විදේශ ගමන් තහනම් කළ විනිසුරුවරයා විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට පත්කරන ලෙසට නියම කෙළේය. විදේශගතවීමට අවශ්‍ය නම් අධිකරණයේ අවසරය මත විදේශ ගතවියහැකි බව සරත් ෆොන්සේකා මහතාගේ විදේශ ගමන් තහනම් කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කෙළේය.

ඇප නියම කිරීමෙන් පසු සරත් ෆොන්සේකා මහතාට ඇප තැබීම සඳහා අධිකරණයට ඉදිරිපත් වූ අනෝමා ෆොන්සේකා මහත්මියගේ සහෝදරියෙකු වූ චාන්දනී මුණසිංහ මහත්මිය හා සරත් ෆොන්සේකා මහතගේ ඥාති මුනුපුරකු වූ සංජීව කුමාර යන අය ඇපකරුවන් ලෙසට අධිකරණය බාරගත්තේය.

රජයේ සේවකයකු වූ සරත් ෆොන්සේකා මහතා ට නියම කළ රුපියල් දස ලක්ෂයේ මුදල් ඇපය තැබීම සදහා වෙනත් දිනයක් ලබාදෙන ‍‍ලෙසට නීතීඥ සාලිය පීරිස් මහතා ඊයේ අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාවේ විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේ විත්තිකරුවකු ඇප මත මුදාහැරිය හැක්කේ ඇප මුදල් තැන්පත් කිරීමෙන් පසුව පමණක් බවයි. සරත් ෆොන්සේකා මහතා කොළඹ නවලෝක රෝහලේ තවදුරටත් නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බවට බන්ධනාගාර අධිකාරිවරයා විසින් විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් මහතාගේ වෛද්‍ය වාර්තාවක්ද සමඟ අධිකරණයට ලිපියක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.

ඒ අනුව ඇප අස්සන් කිරීමට අවශ්‍ය ලේඛන කොළඹ නවලෝක රෝහල වෙත රැගෙනගොස් විත්තිකරුගේ අස්සන් ලබාගන්නා ලෙසට විනිසුරුවරයා කෙළඹ මහාධිකරණ රෙජිස්ටාර්වරයාට නියම කෙළේය. මෝසමක් මගින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බලා ඊයේ මේ නඩුව අධිකරණය හමුවේ කැදවා තිබුණි.

සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නිතීඥ සාලිය පීරිස් මහතා ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණයට දන්වා සිටියේ සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් මේ නඩුවේ ඇප අයැදුමක් ඉදිරිපත් කිරීම සදහා මෝසමක් මගින් නඩුව කැදවන ලෙසට ඉල්ලීමක් කළ බවයි.

මේ නඩුව සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ඇප අයැදුමක් ඉදිරිපත්කරන පළමු අවස්ථාව මෙය වන බවද 2010 සැප්තැම්බර් මස 28 වැනිදා සිට මේ දක්වා මෙම නඩුව සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාරය බාරයේ පසු වූ බවද නීතීඥ සාලිය පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේය.

මේ නඩුවේ පළමු විත්තිකරු යන සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සදහා ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගත් බවට වාර්තා වූ බවත් දැනට සරත් ෆොන්සේකා මහතාට තිබෙන දඩුවම් සම්බන්ධයෙන් යම් සහනයක් ලැබෙන්නේනම් එම සහනයෙන් ලැබෙන නිදහස බුක්ති විඳීමට ඔහු බන්ධනාගාරගතව සිටීමෙන් නොහැකි වන බවත් පවසා සිටි නිතීඥ සාලිය පීරිස් මහතා සුදුසු කොන්දේසි මත සරත් ෆොන්සේකා මහතා ට ඇප නියම කරන ලෙසට ඉල්ලා සිටියේය.

මේ නඩුව සම්බන්ධයෙන් පළමු විත්තිකරු වන සරත් ෆොන්සේකා මහතා ඇප ඇයදූ පළමු අවස්ථාව මෙය වන බවත් මේ නඩුවේ ඇති චෝදනා මෙම අධිකරණයෙන් ඇප නියම කළ නොහැකි චෝදනා නොවන බවත් අධිකරණය හමුවේ ඊයේ ප්‍රකාශ කර සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ දමිත් තොටවත්ත මහතා විත්තියේ ඇප අයැදුම සම්බන්ධයෙන් පැමිණිල්ල විරුද්ධ නොවන බව දන්වා සිටියේය.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකාර සරත් ෆොන්සේකා මහතාට ඇප නියම කරන ලදී. මේ නඩුවේ දෙවැනි විත්තිකරු වූ සරත් ෆොන්සේකා මහතාගේ පෞද්ගලික ලේකම් සේනක හරිප්‍රිය ආනෝල්ඩ් ද සිල්වා මහතා මිට පෙර අධිකරණ ඇප මත මුදාහැර ඇත.

2009 සැප්තැම්බර් 15 වැනිදාත් 2010 ජනවාරි මස 01 වැනිදාත් අතර කාලයේ යුද හමුදාවෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව තමන්ට අනුයුක්ත නොකර සිටි යුද හමුදා සෙබළුන් 12 දෙනකු ළඟතබාගෙන සිටින ලදැයිද ඔවුන් රාජපාක්ෂිකභාවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදැයිද එම සෙබළුන්ට එරෙහිව කටයුතු කිරීමට යුද හමුදා පොලිසියේ සෙබළුන්ට ඉඩ ලබා නොදෙන ලදැයිද පවසමින් චෝදනා 41ක් යටතේ නීතිපතිවරයා විසින් මේ නඩුව පවරා ඇත.

පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥවරුන් වන රියාස් බාරි හා දමිත් තොටවත්ත යන මහත්වරු පෙනී සිටියහ. විත්තිකාර සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් නීතී සාලිය පීරිස් ,නිලන්ති පීරිස් , රුක්ෂාන් නානායක්කාර, දයාසිරි ජයසේකර යන මහත්ම මහත්මීන් අතුළු නීතීඥවරු මඩුල්ලක් පෙනී සිටියහ.

කුමුදු හෙට්ටිආරච්චි

දශක තුනක කාලයක් මෙරට පැවැති යුද්ධය අවසන් කිරීමට පෙරමුණ ගත් අපේ රණවිරුවන් දැන් රට සංවර්ධනය කිරීමේ මෙහෙයුමේ පෙරමුණ ගෙන සංවර්ධන ව්‍යාපෘති දහස් ගණනක් සිය ශ්‍රමයෙන් නිම කැර තිබේ.

උතුරු, නැඟෙනහිර පමණක් නොව රට පුරා කැරෙන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිවලට රණවිරුවන් දුන් දායකත්වය නිසා රජයට ඉතිරි කර ගැනීමට හැකිවූ මුදල රුපියල් කෝටි හයසිය තිහකට ආසන්න බව ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථාන තොරතුරු අනාවරණය කරයි.

යුද්ධයෙන් විනාශව තිබූ උතුරු, නැඟෙනහිර ප්‍රදේශයේ ගේදොර, මංමාවත්, පාලම් බෝක්කු, මහා මාර්ග, වැව්, ජලාස, ගොවිපළ, නගර, රජයේ ගොඩනැඟිලි ඇතුළු සියලු ස්ථාන අලුත්වැඩියා කර නැවත සකස් කිරීම සම්පූර්ණයෙන්ම හමුදාව අතින් ඉටුවී තිබේ.

මේ වැඩපිළිවෙළ යුද්ධයෙන් පසු ආරක්‍ෂක අංශ බැරැක්කවලට සිර නොකර ඔවුන්ගේ ශ්‍රමයෙන් රටේ සංවර්ධන කටයුතු කිරීමේ සංකල්පය යටතේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරන ලදී.

මේ යටතේ යුද හමුදාවේ සියලු ආරක්‍ෂක බළසේනාංකවලට වෙනමම ව්‍යාපෘති බාරදී ඇත. ඒ අනුව ව්‍යාපෘති දහසකට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වී තිබේ. යුද්ධයෙන් විනාශවූ ප්‍රදේශවල ත්‍රස්තවාදීන් අතුරා තිබූ බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් බාර වී තිබුණේ යුද හමුදාවටයි. ඒ අනුව ඉතා කෙටි කාලයකදී ඉංජිනේරු බළකායේ මූලිකත්වයෙන් දසදහස් ගණනක් බිම් බෝම්බ ඉවත් කැරිණි.

බිම් බෝම්බ ඉවත් කිරීම අන්තර්ජාතික සමාගම්වලට බාර දුන්නේ නම් රුපියල් කෝටි ගණනක් වියදම් කිරීමට සිදුවෙයි. එහෙත් අපේ රණවිරුවන්ගේ දෑතින් එම ව්‍යාපෘතිය සාර්ථකව සිදුවීමෙන් මෙරටට ඉතිරි වූ මුදල රුපියල් කෝටි විසිහතර ඉක්මවයි.

කිළිනොච්චි මහා මාර්ගය, ඒ 9 මාර්ගය, කොකාවිල් රූපවාහිනී කුලුන, උතුරේ දුම්රිය මාර්ග, යාපනේ, ඔඩ්ඩුසුඩාන් මාර්ග, කනකරායකුලම් පාලම, කුමනමුලේ, මුලතිව්, නයාරු, කල්කුඩා, පනිච්චන්කේන්, පෙරියමඩු, ධර්මපුරම් පාලම් උතුරේ ප්‍රධාන ව්‍යාපෘති අතර වෙති.

යාපනය රෝහල, කෝපායි රෝහල ඇතුළු රෝහල් ගණනාවක අලුත්වැඩියා කටයුතු සිදුවූයේද ත්‍රිවිධ හමුදාවෙනි. උතුරේ පාසල් විශාල ප්‍රමාණයක් යුද්ධයෙන් විනාශවී තිබුණ අතර ඒ සෑම පාසලක්ම අලුත්වැඩියා කැර තිබේ.

උතුරු, නැඟෙනහිර පළාත්වල විදුලිය සැපයීම නව නිවාස ඉදිකිරීම, පෙර පාසල් ඇතුළු දෑ සකස් කිරීම ද හමුදාවෙන් සිදුවිය. උතුරු, නැඟෙනහිර පළාත්වල අලුත්වැඩියා කර සකස් කැරුණු කෝවිල් ප්‍රමාණය 18කි.

යුද්ධය නිසා විනාශවී බිම පෙරළා දමා තිබූ විශාල වතුර ටැංකි ගණනාවක් අලුත්වැඩියා කළ රණවිරුවෝ අරාලිතුඩුව දක්වා වූ ප්‍රදේශයේ තල් බීජ තිස්පන්දහසක් අලුතෙන් සිටුවා ඇත.

උතුරු, නැඟෙනහිර සිවිල් ජනතාවට ස්වයං රැකියා කර ගැනීමට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය රණවිරුවන් අතින් ලැබී තිබේ. උතුරු, නැඟෙනහිර එවැනි ශීඝ්‍ර සංවර්ධනයකට සහාය වූ රණවිරුවන් දකුණේ සිදුවූ දැවැන්ත ව්‍යාපෘති රැසක් ද ඉදිකිරීමට මූලිකවී ඇත.

ඒ අතරින් දියගම ක්‍රීඩා භූමි ප්‍රදේශය, සූරියවැව, විල්පත්තු, පල්ලේකැලේ ආදී ප්‍රදේශවල ව්‍යාපෘති රැසකටද රණවිරුවන් දායකවී ඇත. පුරන්වී තිබූ කුඹුරු හා ඉඩම් අක්කර පහළොස්දහසක් පමණ වගා කරනු ලැබුවේද මන්නාරම සහල් නැළිය දැවැන්ත කුඹුරු යාය යළි නගාසිටුවීමට සහාය වූවෝද රණවිරුවෝය.

ඒ අතර කොළඹ නගරයේ ගොඩනැගිලි අලුත්වැඩියා කරමින් නවීකරණය කිරීම හා කොළඹ හා ඒ අවට භූමිය අලංකාරය වූයේද රණවිරු දෑතිනි.

විජයානි එදිරිසිංහ (dinamina newspaper)


Sri Lanka hospital and Fortis in health lab deal

ඉන්දියානු සමාගමක් සමග එක්වී ලංකා හොස්පිට්ල්ස් සමාගම වෛද්‍ය රසායනාගාර ජාලයක් ගොඩනැගීමට සූදානම් වනබව හෙළිවේ.

මේ අනුව, Lanka Hospital Corporation සමාගම පවසා තිබෙන්නේ ඉන්දියාවේ Fortis Healthcare සමාගම සමග එක්වී රුපියල් මිලියන 831 ක වියදමින් මෙම වෛද්‍ය රසායනාගාර ජාලය ඉදිරි වසර දෙක තුළ ආරම්භ කරන බවයි.

ලංකා හොස්පිට්ල්ස් සමාගම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අනුබද්ධ සමාගමක් වන අතර ඉන්දියාවේ Fortis Healthcare සමාගම ලංකා හොස්පිට්ල්ස් සමාගමේ දෙවැනියට විශාලතම කොටස් අයිතිය හිමි සමාගමයි.

පසුගිය මාර්තුවේදී මෙම සමාගම විසින් ලංකා හොස්පිට්ල්ස් සමාගමේ සියයට 28.6 ක කොටස් මිලදී ගත් අතර ඒ සඳහා රුපියල් බිලියන 3.98 ක් වැය කළේය.

මෙම රෝහල මීට පෙර කළමනාකරණය කළේ ඉන්දියානු ඇපලෝ රෝහල් සමූහයයි.

Fortis ඉන්දියාවේ විශාලතම රෝහල් ජාලයක් වන අතර එම සමාගමට ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඩුබායි, හොංකොං, මුරුසි දිවයින, නවසීලන්තය, සිංගප්පූරුව හා වියට්නාමය යන රටවල රෝහල් 55 ක් තිබේ.


ලොව වටා ග්‍රාහකයින් මිලියන 900 ක් පමණ සිටින Facebook වෙබ් අඩවිය ලොව විශාලතම අන්තර්ජාල කොටස් නිකුතුව කරමින් ඩොලර් බිලියන 16 ක මුදලක් රැස්කර ගෙන තිබෙන අතර කොටස් අද දිනයේදී ගනුදෙනු වීමට නියමිතය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙහිදී ඩොලර් 38 ක් වන කොටස් මිලියන 421.2 ක් නිකුත් කෙරුණු බවත් මේවා උණු කැවුම් මෙන් විකුණුනු බවයි.

කොටසක් ඩොලර් 38 ක් ලෙස මිල කිරීමත් සමග Facebook වෙබ් අඩවියේ සමස්ත වටිනාකම ඩොලර් බිලියන 104.1 ක්වී ඇතැයිද එම ගණනය කිරීමට අනුව ලෝකයේ 40 වැනියට වටිනාම සමාගම මෙය බවද සඳහන්ය.

මේ අනුව, Facebook සමාගම Amazon.com හා Qualcomm යන සමාගම් වලට වඩා වටිනා අතර පෙප්සි කෝලා සමාගමට වඩා පහළින් තිබෙන බව මෙම වාර්තා අනාවරණය කරයි.

Facebook සමාගමේ නිර්මාතෘ තවමත් 28 හැවිරිදි මාර්ක් සකර්බර්ග් සතුව සමාගමේ සතු කොටස්වල වටිනාකම ඩොලර් බිලියන 19.1 ක් බවත් වාර්තා වේ.

මිලියන 900 ග්‍රාහකයින් තුළින් Facebook සමාගම ගිය වසරේදී ඩොලර් බිලියනයක ලාභ වාර්තා කර තිබෙන අතර ඉදිරියේදී කොටස්කරුවන්ගේ අපේක්ෂා මුදුන් පත් කරවීමට ලාභ වැඩිකර ගැනීමේ අභියෝගය සමාගම ඉදිරියේ තිබෙන බව විශ්ලේෂකයෝ පවසති.

සමාගමේ ආදායම ඉදිරියේදී දස ගුණයකින් වැඩිකර ගත යුතුව ඇති බවත් එයට අනුව වාර්ෂික ආදායම ඩොලර් බිලියන 30-40 ක් පමණ විය යුතු බවත් ඔවුන්ගේ අදහසයි.

අන්තර් ජාල වෙළඳ දැන්වීම් මගින් ආදායම් රැස්කර ගැනීමට ඉදිරියේදී විශාල අවස්ථාවක් තිබෙන බව හෙළිවන අතර මේ වනවිට ලෝකයේ වෙළඳ දැන්වීම් වලින් අන්තර් ජාල වෙළඳ දැන්වීම් කොටස සියයට 20 ක් පමණ වනබව සඳහන්ය.


Sri Lanka overturns ill-fated National Savings Bank-The Finance Co. deal

ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ද ෆිනෑන්ස් සමාගමෙන් මිලදීගත් කොටස් ප්‍රමාණය නැවතත් අදාළ විකිණුම් කරුවන්ට ලබාදී මුදල් ආපසු ලබාගැනීමට සුරැකුම්පත් හා විනිමය කොමිසම අනුමැතිය ලබාදී තිබේ.

මේ අනුව, කොටස් වෙළඳ පොළේ සිදුවන ගනුදෙනුවක් ලෙස නොව පුද්ගලික කොටස් පැවරීමක් ලෙස මෙය සිදුකිරීමට අනුමැතිය ලබාදී තිබෙන අතර මෙම ගනුදෙනුව පසුගිය කාලයේදී ඉමහත් ආන්දෝලනයට හේතුවිය.

ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ද ෆිනෑන්ස් සමාගමේ කොටස් වලින් සියයට 13 ක් මිලදීගත් අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 390 ක් වැයකර තිබුණි.

කොටස් වෙළඳ පොළේ ද ෆිනෑන්ස් කොටසක් රුපියල් 30 ක් වනවිට රුපියල් 49.74 කට මෙම කොටස් මිලදී ගැනීමට දැඩි දෝෂ දර්ශනයට ලක්වූ අතර පසුව රජයේ අවධානය මේ සඳහා යොමුවිය.

මේ අනුව, මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමේ කටයුතු නියාමකයා වන සුරැකුම් පත් හා විනිමය කොමිසමට පවරනු ලැබීය.

ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් මිලදීගෙන තිබෙන ද ෆිනෑන්ස් කොටස් නැවතත් පවරන දිනයක් නියාමකයා විසින් ප්‍රකාශයට පත්කර නොමැත.






ජාතික පාසලක සිට තවත් ජාතික පාසලකට උසස් පෙල හැදෑරීම සඳහා සිසුන් ඇතුලත් කර ගැනීම වැළැක්වීමට අදාල චක‍්‍රලේඛය මේ වසරේදී ක‍්‍රියාත්මක නොකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව දැනට ජාතික පාසල්වලට ඇතුලත්වීම සඳහා ඉල්ලූම් කර ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා එම ඉල්ලූම් කර ඇති ජාතික පාසලට ඇතුලත් වීමේ හිමිකම ලබාදීමට තීරණය වී ඇත.

කෙසේ වෙතත් මෙම චක‍්‍රලේඛය ලබන වසරේ සිට ක‍්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර හිදිසියේ ක‍්‍රියාවට නැංවූ මෙම චක‍්‍රලේඛය හේතුවෙන් ප‍්‍රධාන පෙලේ ජාතික පාසල්වලට ඇතුලත් වීමට ඉල්ලූම්කර සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගණනක් අපහසුතාවයට පත්ව සිටි අතර ඔවුහු මෙය වෙනස්කරන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටියහ.